Tuesday, July 23, 2019

ස්වාධීන නිබන්ධනය

මාතෘකාව

කෝට්ටේ යුගයේ සන්දේශ සාහිත්‍ය තුළ පුරුෂයා නිරූපණය කර තිබෙන ආකාරය


ගැටලුව

කෝට්ටේ යුගයේ සන්දේශ සාහිත්‍ය තුළ පුරුෂයා නිරූපණය කර තිබෙන ආකාරය කෙසේ ද? එම නිරූපණය කිරීමේ  දී විවිධ සමාජ  ස්ථරයන්හි පුරුෂයා නිරූපණය කර තිබෙන ආකාරය කෙසේ ද? එය තත්කාලීන සමාජය යථාර්ථය නිරූපණය කරයි ද? නැතහොත් මනංකල්පිත රූප නිරූපණය කරයි ද?


හැඳින්වීම

  සිංහල සාහිත්‍යයෙහි විශාල දියුණුවක් ලැබූ යුගයක් වශයෙන් කෝට්ටේ සාහිත්‍යය යුගය හැඳින්විය හැකි ය.මෙය හයවන පැරකුම් රජුගෙන් ලැබුණු නොමද රාජ්‍ය අනුග්‍රහය හේතු වූ බව කිව  හැකි ය. ඒ සමඟ ම වන වාසි හා ග්‍රාමවාසී භික්ෂූන් අතර පැවති තරඟය හේතු කොට ගෙන ඉතා විශාල වශයෙන් පොත් බිහිවන්නට විය.  මේ යුගය තුළ මහාකාව්‍ය,චන්ඩ කාව්‍ය, සන්දේශ කාව්‍ය හා නිගණ්ඩු වශයෙන් චතුර්විධ කාව්‍ය බිහිවිය.මේ අතුරින් සන්දේශ කාව්‍යවලට ප්‍රමුඛ තැනක් හිමි වී තිබේ. "තෙල් අඩු වූ පහනකට තෙල් දැමුවා සේ "ආලෝකයක් කෝට්ටේ යුගය තුළ ඇතිවීමට ප්‍රබල සාධකයක් ලෙස පංච මහා සන්දේශ කාව්‍ය බිහිවීම හේතුවිය. පරෙවි ,කෝකිල ,ගිරා, හංස සහ සැළලිහිණි සන්දේශ කාව්‍ය කෝට්ටේ යුගය ආලෝකවත් කළ සන්දේශයන් ය. 

   පරවි සන්දේශය තොටගමුවේ රාහුල හිමි ලියන ලද්දේ පරාක්‍රමබාහු රජුගේ සොයුරිය වන චන්ද්‍ර වතියට සුදුසු සැමියකු ලබාදීමේ පරමාර්ථයෙනි. යාපා පටුනේ සටන් වදින සපුමල් කුමරුට දේවාශීර්වාද පතා තිලක පරිවේනාධිපති හිමියෝ කෝකිල සංදේශය රචනා කළෝ ය. ප්‍රතිභාපූර්ණ කාව්‍ය නිර්මාණකරුවෙකු වූ ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ  රාහුල හිමියන්ගේ ගුණ වර්ණනා කරමින් උන්වහන්සේගේ ශිෂ්‍යයෙකු  ගිරා සන්දේශය රචනා කොට ඇත. ලක්දිව හයවන පැරකුම් රජු ආරක්ෂා කරදෙන මෙන් ඉල්ලා කෑරගල වනරතන හිමියන් වෙත යැවූ  හංස සංදේශය වීදාගම මෛත්‍රී හිමියන් රචනා කළෝ ය. හය වන පැරකුම් රජුගේ දියණිය වූ උලකුඩය දේවියට රාජ්‍ය පාලනය සඳහා පුතෙකු ලබාදෙන මෙන් ඉල්ලා කැලණියේ විභීෂණ දෙවියන් වෙත යැවූ සන්දේශය  සැළලිහිණි සන්දේශය යි.

සන්දේශ සාහිත්‍යයේ ආරම්භය සිදු වූයේ ගම්පොළ යුගයේදී ය. ඒ තිසර හා මයුර සන්දේශ තුළිණි. එතැන් පටන් කෝට්ටේ යුගයේ රචිත සන්දේශ සාහිත්‍යය දක්වා සන්දේශ රචනා වූයේ පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ය. මෙහිදී විවිධ චරිත නිරූපණයන් ඉස්මතු කොට දක්වා තිබෙන අතර එහිදී සමාජයේ විවිධ ස්ථරයන් දක්නට ලැබේ. ප්‍රභූ පැලැන්තිය හා සාමාන්‍ය ජනතාව වශයෙන් ද කොටස් කර දැක්විය හැකි අතර එම කොටස් අතුරින් පුරුෂයා නිරූපණය කර ඇති ආකාරය කෙසේද යන්න අවධානය යොමු කළ හැකි ය. එමෙන්ම සන්දේශ සාහිත්‍යය තුළින් තත්කාලීන සමාජය තුළ ජීවත් වූ පුරුෂයා ඒ ආකාරයෙන් ම නිරූපණය කර තිබෙනවා ද නැතහොත් එය මනංකල්පිත නිරූපණයන් ද යන වග මෙහිදී අප අවධානය යොමු කළ හැකි ය.







Tuesday, July 9, 2019


සන්දේශ සාහිත්‍යය තුළින් හෙළිවන තත්කාලීන සමාජ පසුබිම

සන්දේශ සාහිත්‍ය තුළ තත්කාලීන ආර්ථික, සමාජයීය, ආගමික, සංස්කෘතික මෙන්ම දේශපාලනික තොරතුරු ද හුවා දක්වයි. කෝට්ටේ යුගයේ බිහි වූ සන්දේශ තුළ රාජකීය කුල කතුන්, පුරඟනන්, ගැමි ලියන්, නගර සෝභිනියන්, ගෙවිලියන් යනාදී කාන්තාවන් ද, තුටින් දිය කෙළියෙහි යෙදෙන කාන්තාවන් ද පිළිබඳ චිත්ත රූප මවා දක්වයි. මෙවන් නිරූපණයන් ඇසුරෙන් තත්කාලීන සමාජයේ පැවති කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය ඇතුළු සෙසු කර්මාන්ත හා වෘත්තීන් මෙන්ම සමාජයේ සමෘද්ධිමත් බව ද හුවා දක්වයි.
සලා දුලා පියොවුරු තඹර රොන් රත
පුලා නිලා උපුලන් ලාගෙන    කනත
කලා පිලා නොව ඇල්ගෙවි කෙලින ඉත
බලා පලා යව අස්වන් ගුරුළු   කෙත
සැළලිහිණි සන්දේශයෙහි 38 වන පද්‍යය මගින් ලංකාද්වීපයේ එකල පැවති කෘෂිකාර්මික පසුබිම මෙසේ විචිත්‍රණය කර දක්වයි.

සන්දේශයන්හි සාහිත්‍යමය වටිනාකම

සන්දේශ සාහිත්‍යය තුළ වීර, ශාන්ත, ශෘංගාර, කරුණා, හාස්‍ය, රෞද්‍ර, අද්භුත, භීබත්ස, භයානක යන නව නළු රස අන්තර්ගතය. කාව්‍යමය ආභරණයන් වන එළිසමය, සමුද්‍රඝෝෂ/ ගී වැනි කාව්‍ය විරිත්, පුර වැනුම් වැනි අවස්ථාවන්හිදී අතිශයෝක්ති අලංකාර, උත්ප්‍රේක්ෂාලංකාර, උපමාලංකාර යනාදී රසාලිප්ත කාව්‍යාලංකාර ද සන්දේශයන්හි සාහිත්‍යමය වටිනාකම වර්ධනය කරයි.

නූතන නිර්මාණකරණ විෂයෙහි සන්දේශ සාහිත්‍යයෙහි වටිනාකම

සන්දේශ සාහිත්‍යයෙහි භාෂා රටාව වර්තමානයෙහි එක්වරම කියවා අවබෝධ කරගැනීම තරමක් අපහසු වුවද එය සන්දේශ සාහිත්‍යයෙහි සර්වකාලීන රසයට බාධාවක් නොවේ. මේ අනුව නූතන නිර්මාණකරණය විෂයෙහි මූලාශ්‍රයක් ලෙස ද යොදාගැනීමට ඉඩහසර පවතින සන්දේශ සාහිත්‍යය, අතීතයෙන් උරුම වූ අමිල සාහිත්‍යමය අංගයකි.





සැළලිහිණි සන්දේශය


සැළලිහිණි සන්දේශය

සැළලිහිණි සන්දේශය යනු කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපර‍මේශ්වර ත්‍රිපිටකවේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි.
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය නමින් ‍හැඳින්වේ. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ගම්පොල යු‍ගයේ දී ලියැවුණු මයුර සන්දේශ කාව්‍යය යි. සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ කෝට්ටේ යුගයෙහි දී ය. ඉන් පසු එය සීතාවක යු‍ගය ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.
රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩයදේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.
මෙය ‍පද්‍ය 108 කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත්, මාත්‍රා 18කින් යුක්ත ගීතමය විරිතක් වන සමුද්‍රඝෝශ විරිතෙන් රචිත ගීතමය සංදේශයකි කාව්‍යය‍කි. එහෙයින් සැළලිහිණි සන්දේශයට සිංහල සාහිත්‍යයේ හිමි වන්නේ උසස් තැනකි.



ගිරා සන්දේශය හා හංස සන්දේශය

ගිරා සන්දේශය

ගිරා සන්දේශය ලියැවී ඇත්තේ ක්‍රි.ව. 1457 - 1465 දක්වා කාලය අතරතුරය. මෙහි කතුවරයා කවුරුන්දැයි පැහැදිලි නැත. එහෙත් ඔහු විසුවේ ජයවර්ධනපුර මහාවිහාරයක බව විශ්වාස කෙරේ. එලෙසම කතුවරයා ගිරවා නික්මවන්නේ තමන් විසූ වෙහෙරින් වන බැවින් ඔහු සඟනමක් බවද පැහැදිලි වන්නකි. පරෙවිකෝකිලසැළලිහිණි ආදී මේ වන විට ලියැවී තිබූ සන්දේශ කාව්‍යයන් හි දූතයන් ගියේ දෙවියන් වෙතය නැතහොත් දෙවියන්ගෙන් ආසිරි රැගෙන රාජ්‍ය නායකයන් වෙත ය. එහෙත් මෙම සන්දේශ කාව්‍යයේ දූතයා වන ගිරවා යනුයේ තොටගමුවේ විජයබා පිරිවෙන්පති වෙත ය. ශ්‍රී සංඝබෝධිවිජයබා නමින් මේ ග්‍රන්ථයෙහි දැක්වෙන මෙම පිරිවෙන්පතිරහල් හිමියන් බව පිළිගෙන ඇත.




හංස සන්දේශය


හංස සන්දේශය ක්‍රි.ව. 1457 - 1465 කාලය තුලදී කරවූ බව පෙනේ. මෙම සන්දේශ කාව්‍යය ලියැවී ඇත්තේ මෙයට පෙර ලියැවුනු සන්දේශ කාව්‍යයක් වන ගිරා සන්දේශය ට පිළිතුරු වශයෙනි. ගිරා සන්දේශයෙහි එක් අදහසක් වූයේ තොටගමුවේ විජයබා පිරිවෙනත් එහි හිමියනුත් වර්ණනා කිරීම යි. මේ අදහස මුදුන්පත් කරගන්නා අටියෙන් ගිරා සන්දේශ කතුවරයා සිදු කලේ පැරකුම්බා රජුට ආසිරි පතන නියායෙන් ගිරවා තොටගමුවේ විජයබාපිරිවෙන්පති රාහුල හිමියන් වෙත යැවීම යි. මෙම වර්ණනා කිරීම නොඉවසු පිරිසක් විසින් පෙරදැරිව හංස සන්දේශය කරවූ බවක් පෙනේ. මෙම සන්දේශ කාව්‍යය කර වූ පිරිස රාහුල හිමියන්ගේ පිළිවෙත්හි වරදම දුටු බවක් පෙනේ. මෙම පිරිස ගිරවාට පිළිතුරු වශයෙන් හංසයා දූත ගමනක යෙදවූ බව පෙනේ. ගිරා සන්දේශයේ කතුවරයා මෙන්ම මෙම හංස සන්දේශයේ කතුවරයාද කවුරුන්දැයි පැහැදිලි නැත. මෙම කතුවරයා මේ පොතට දුන් මුල් නම "තිසරසන්දෙස" යනුයි. එනමුදු මෙම නමින් ලියැවුනු අනෙක් සන්දේශයක් ඒ වන විට ව්‍යවහාරයේ පැවතිණ. එබැවින් මෙම කාව්‍යය ප්‍රසිද්ධයට පත්වූයේ හංස සන්දේශය නමිනි. සන්දේශ කාව්‍යයේ කවි 200ක් අඩංගුව ඇත. මෙම කාව්‍යය කරවූ වර්ෂය සඳහන්ව නැත. එහෙත් ගිරා සන්දේශයට අනතුරුව, ඒහා සමකාලීනව ලියැවුනු කාව්‍ය ග්‍රන්ථයක් ලෙස මෙය සැලකිය හැක.